රක්ෂණ ගැටළුවක් හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම රුසියාව වෙත ගුවන් ගමන් අත්හිටුවයි

Spread the love

රක්ෂණ ගැටළුවක් හේතුවෙන් අත්හිටුවා තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් නුදුරේදීම ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ සඳහා විකල්ප රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොළඹ – මොස්කව් සෘජු ගුවන් ගමන් ඊයේ (28) සිට අත්හිටුවා ඇත.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් රක්ෂණය කර ඇති බ්‍රිතාන්‍ය ගුවන් සමාගම රුසියාව බලා පියාසර කරන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රක්ෂණය අවලංගු කිරීමට ගත් තීරණය හේතුවෙන්.
මෙය ශ්‍රී ලංකා රජය විසින් ගත් තීරණයක් නොවන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම තත්ත්වයට මුහුණ දී ඇත්තේ පාලනයෙන් ඔබ්බට ගිය සිදුවීමක් නිසා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මාධ්‍යවල සහ සමාජ ජාල වෙබ් අඩවිවල පළවන පුවත් තමන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළේ පසුගිය වසරේ ජූලි 31 වැනිදාය. ඒ අනුව සතියකට ගුවන් ගමන් දෙකක් කොළඹ සහ මොස්කව් අතර ක්‍රියාත්මක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *