බණ්ඩාරනායක පිළිරුවට මීටර් 50ක් ඇතුළත කිසිවෙකුට ඇතුළුවීම වළක්වාලමින් නිකුත් කර ඇති නියෝගය ඉවත් කරන ලෙස කළ ඉල්ලීමට විරෝධතා ගොනු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද කොටුව පොලිසියට නියෝග කර තිබේ.
කොටුව පොලිසිය කළ ඉල්ලීම සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්රාත් දිලින ගමගේ මහතා බණ්ඩාරනායක ප්රතිමාවේ මීටර් 50ක් ඇතුළත කිසිදු පාර්ශවයකට ඇතුළු නොවිය යුතු බවට නියෝග කළේය.
නමුත් මෙම නියෝගය ඉවත් කරන ලෙස විරෝධතා කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම පෙත්සමේ කටයුතු අද කැදවූ බැවින් විරෝධතා ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.
ඒ අනුව එම විරෝධතා අගෝස්තු මස 12 වැනිදා ඉදිරිපත් කරන ලෙසත් එදිනට නඩුව යළි කැඳවීමටත් විනිසුරුවරයා නියෝග කර ඇත.