හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයේ චූදිතයකු ලෙස නම් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඔක්තෝබර් 14 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද නොතීසි නිකුත් කළේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නොතීසි නිකුත් කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූ ගරු සිරිල් ගාමිණී පියතුමා සහ ජේසුදාසන් නඩේසන් මහතා විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවය.
2019 අපේ‍්‍රල් 21 වැනිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර වැලැක්වීමට නොසැලකිල්ල සහ අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පැමිණිල්ලේ සැකකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී ආරක්ෂක අමාත්‍යවරයා ලෙස එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ වරදක් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැකකරුවෙකු ලෙස නම් කර ඔහු අධිකරණයට කැඳවන ලෙසට නොතීසි නිකුත් කරන ලෙස ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර ඔක්තෝබර් 14 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කළේය.