පාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂාව තර කර ඇති අතර ඊට පිවිසෙන සියලුම පිවිසුම් මාර්ග මාර්ග බාධක යොදා වසා දමා ඇත.
මේ අතර, පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
රට තුළ පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කිරීම සඳහා නාමයෝජනා කැඳවීම හෙට සිදුකිරීමට නියමිතයි.
ඊට අදාළ ඡන්ද විමසීම අනිද්දා (20) පාර්ලිමේන්තුවේදී රහස් ඡන්දයක් ලෙස පැවැත්වීමට නියමිතය.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීම සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව හෙට ඔවුන්ගේ නාමයෝජනා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහු එය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතයි.
ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේ ඡන්දය ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ගේ ඡන්දවලින් සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වේ.
පාර්ලිමේන්තුවේ සෑම දේශපාලන පක්ෂයක්ම තමන් සහය දෙන අපේක්ෂකයා මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්රීලනිපය ඡන්දය දීමෙන් වැළකී සිටින බව පවසා ඇත.
පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන්ගේ ඡන්දය නව ජනාධිපතිවරයා තෝරා ගැනීමට ප්‍රබල සාධකයක් බව පැවසේ.
වත්මන් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු ආසන 145ක් ඇති අතර සමගි ජන බලවේගයට (SJB) පාර්ලිමේන්තු ආසන 54ක් ඇත.
ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) ආසන 10, ජාතික ජනතා බලය (NPP) ආසන 3, ඊළාම් ජනතා පක්ෂය සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයට ආසන 2 බැගින් හිමිව තිබේ.