දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයක් වාර්තා වුවත් කිසිදු ප්‍රදේශයකින් ඊයේ (13 දා) සවස් වනවිට ආපදා තත්ත්වයක් වාර්තා වී නැතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නියේජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
එමෙන්ම රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට නාය යෑමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි එම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.
වායුගෝලයේ සුළු කැළඹිලි තත්ත්වයක් නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ලැබෙන වර්ෂාපතනය ඉදිරි දිනවලත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුරිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
මෙම කැළඹිලි තත්ත්වය හේතුවෙන් බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බවද ඇය කීවාය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි යැයිද ඇය කීවාය.
ග`ිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද වැසිවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය. මේ අතර මුත්තූර් කාමුවේලි ප්‍රදේශයේ කුඹුරක වැඩ කරමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙකු අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත. වව්නියාව ඕමන්ත අරසමුරිප්පු ප්‍රදේශයේ පෙරේදා (12 දා) අකුණු සැර වැදීමෙන් ගවයින් 11 දෙනකු මියගොස් ඇත.