රනිල් වික්‍රමසිංහ ජනපති ලෙස දිවුරුම්

Spread the love

රනිල් වික්‍රමසිංහ ජනපති ලෙස දිවුරුම් දුන්නේය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම සඳහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබුවේ කථානායක මහින්ද යාප්පා අබේවර්ධන මහතා විසිනි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ පෙරවරු 10.10ට දිවුරුම් දුන්නේය.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැයි 9 වැනිදා ඉල්ලා අස්වීමත් සමඟ ඇති වූ රික්තකය පිරවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කෙරුණා.

මෙම තනතුර දරමින් සිටියදී මහජන විරෝධය හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් විය.

ඉන් අනතුරුව පසුගිය 14 වැනිදා වැඩබලන ජනාධිපතිවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා පත්කෙරුණා.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 134ක් ලබා ගනිමින් තේරී පත් විය. ඔහුට එරෙහිව තරග කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලකපෙරුම මහතා ඡන්ද 82 ක් ද අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 3 ක් ද ලබා ගත්හ.

මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අටවැනි ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *